සිහි නුවණ උපදවා ගනිමු

සති සම්පජන්නය හොඳට පුරුදු කර ගන්න. අත් නොහැර පුරුදු කළ යුතු දෙයක්. සති පම්පජන්නය පුරුදු නොකර ධර්ම මාර්ගයේ පොඩ්ඩක්වත් දියුණුවක් කරා යන්ට බෑ. සම්පජන්නය හෙඳින් පුරුදු නොකළොත් ඉන්ද්‍රිය සංවරය ඇතිකර ගන්ට බැරුව යනව. සතිසම්පජන්නය හුරු නැත්නම් ඉන්ද්‍රිය අසංවර වෙනව. ඉන්ද්‍රිය අසංවර වූ කෙනා, අසංවර වූ ඉඳූරන් ගෙන් යුක්ත කෙනා, ප්‍රිය නිමිති බලල ප්‍රිය රූප බලල ඒවයෙ නිමිති මතක තියා ගන්නව.
ඊට පස්සෙ එයා ප්‍රිය නිමිති සිහිකරන්ට පුරුදු වෙනව. එයාට සිද්ධ වෙන්නෙ ප්‍රිය නිමිති සිහිකරන්ට. ඇයි එයා බලල හිතේ පවත්ව ගත්ත දේවල් එයා සිහිකරනව. ඒ ප්‍රිය නිමිති සිහි කරන්ට සිහි කරන්ට රාගය ඇති වෙනව. ඒ විදිහට රාගය ඇති වුනායින් පස්සෙ එයාට සිල් පද රැක ගැනීම දුෂ්කරයි. සිල් රකිනව කියන එක එයාට ප්‍රිය දෙයක් බවට පත් වෙන්නෙ නෑ. ප්‍රිය නිමිති සිහි කරන කෙනාට සීලය ප්‍රිය වෙන්නෙ නෑ. එයාට සීලය රැක ගැනීම ඉතාම අමාරුයි.

ඒ විදිහට ඉන්ද්‍රිය අසංවර වෙන්ට වෙන්ට සිල් රකිනව කියන එක සිද්ධ වෙන්නෙ නෑ. සිල් ආරක්ශා වෙන්නෙ නෑ, සිල් බිෙඳනව. සිල් බිඳූනොත් සිල් බිඳූන කෙනාට සුව පහසුවෙන් වාසය කරන්ට බෑ. සිත තැවෙනව. සිල් බිඳූනට පස්සෙ එයාගෙ සිත තැවෙනව. එයාට සුවපහසු ජීවිතයක් නෑ. සුවපහසුවක් නැති කෙනා තුළ ධර්ම මාර්ගයේ ඉදිරියට යාමක් වෙන්නෙ නෑ. ධර්මය පුරුදු කරනවා කියන එක සුවපහසුවක් නැති කෙනාට කරගන්ට බෑ. ප්‍රබෝධයක් නැත්නම් ධර්මය පුරුදු කරගන්ට බෑ. ඉතින් ඒ ප්‍රබෝධමත් බවක් උපදින්ට නම් සීලය හොඳින් ආරක්ශා වෙන්ට ඕනැ.
සීලය හොඳින් ආරක්ශා වෙන්ට වෙන්ට සීලය පහසුවෙන් රැකෙන්ට රැකෙන්ට එයා ප්‍රබෝධයෙන් වාසය කරන කෙනෙක් බවට පත්වෙනව. සීලය ආරක්ශා වෙන්නෙ ඉතා අමාරුවෙන් නම් එ්ත් එයාගෙ ප්‍රබෝධමත් බව දුබලයි. ඉතින් සීලය හොඳින් ආර්ශා වෙනව නම් පහසුවෙන් ආරක්ශා වෙනව නම් එයා ප්‍රබෝධයෙන් වාසය කරනව. අන්න ඒ ප්‍රබෝධමත් කෙනා තුල ධර්ම මාර්ගය දියුණු වෙනව.

ඒ නිසා අපි ඒ ප්‍රබෝධමත් වූ සිතකින් වාසය කරන්ට පුරුදු වෙන්ට ඕනැ. ඒක අමාරුයි. ඒක තමයි අමාරුම කටයුත්ත. අන්න ඒ අමාරු කටයුත්ත කරගත්තොත් එතනින් එහාට ක්‍රම ක්‍රමයෙන් ඉදිරියට යනව. ඉතින් ඒ නිසා ඒ අමාරු කටයුත්ත කරගන්ට ලොකු උනන්දුවක් ලොකු කැපකිරීමක් තියෙන්ට ඕනැ. ඒක අමාරුයි. සති සම්පජන්නය පුරුදු කර ගැනීම අමාරුයි. සිල් පද රැක ගැනීම ලේසීද අමාරුද? අමාරු දෙයක්. ඒ අමාරුව නැති වෙනව, ඒක පහසු දෙයක් බවට පත්වෙනව ඉන්ද්‍රය සංවර නම්. ඉන්ද්‍රය සංවරයි නම් සිල් පද පහසුවෙන් රැකෙනව.

ඉනද්‍රිය සංවරය පහසුද? අපහසුයි. ඒකත් අමාරු එකක්. ඉන්ද්‍රිය සංවර කිරීම අමාරු වෙන්නෙ නෑ සිහි නුවණ තියෙනව නම්. සිහි නුවණ තියෙනව නම් ඉන්ද්‍රිය සංවරය පහසුයිද අපහසුයිද? එහෙනම් අපහසුම දේ මොකක්ද? සිිහි නුවණ උපදව ගැනීම. සිහි නුවණ උපදව ගන්ට පුළුවන් වෙන්නෙ සති සම්පජන්නය පුරුදු කර ගැනීමෙන්. සති සම්පජන්නය පුරුදු කර ගන්න කෙනාට සිහි නුවණ තියෙනව. සිහි නුවණ තියෙන කෙනාට ඉන්ද්‍රිය සංවරය පහසුයි. සංවර වූ ඉඳූරන් ඇති කරගන්ට ලේසියි. එසේ ඉඳූරන් සංවර වූ කෙනා තුල සිල් පද පහසුවෙන් රැකෙනව.

හොඳට තාප්පයක් බැඳල ගේට්ටු දාල දොර ජනෙල් වලට දොර ගුලු දාල තියෙන තැනක ගේ ඇතුලෙ තියෙන බඩු මුට්ටු පහසුවෙන් රැකෙනව. ඒ වගේ. හොඳට සති සම්පජන්නය හුරු කරගත්ත කෙනා තුළ සිහි නුවණ පිහිටනව. සිහි නුවණ පිහිටපු කෙනා තුළ ඉන්ද්‍රිය සංවරය හොඳින් පිහිටනව. අපහසු නෑ. අපහසුවකින් තොරව ඉන්ද්‍රිය සංවරය පිහිටල තියෙනව.
ඉන්ද්‍රිය සංවර වුනාට පස්සෙ, සංවර වූ ඉඳූරන්ගෙන් යුක්ත කෙනා තුළ ප්‍රිය නිමිති නෑ. ප්‍රිය නිමිති නැත්නම් රාගය උපදින ආකාරයේ සිහිකරන්ට දෙයක් එයාට නෑ. ප්‍රිය නිමිති නැති කෙනා ප්‍රිය නිමිති සිහි කරන්නෙ නෑ. ප්‍රිය නිමිති සිහිකරන්නෙ නැති කෙනා තුළ රාගයෙන් පීඩා වි£ම් නෑ. සිත අකුසලයෙන් යට වෙන්නෙ නෑ. ඉතාම සුවපහසු විදිහට එයාගෙ සීීලය ආරක්ශා වෙනව. සීලය රැකෙන්න රැකෙන්න එයා තුළ සතුට ප්‍රබෝධය බලවත් වෙනව.

දැන් එයාට සිහි වෙන්නෙ තමා රකින සීලය. සිල් රකින්න රකින්න එයාට තියෙන පහසුව එයා සිහිකරනව. එයාට සිහි වෙනව. එතකොට ප්‍රබෝදය බලවත් වෙනව. අන්න එහෙම ප්‍රබෝධයෙන් ඉන්න කෙනා තුළ ධර්ම මාර්ගයේ දියුණුවක් මිස පිරිහීමක් කවදාවත් ඇතිවෙන්නෙ නෑ. ඇති කරන්ට බෑ. ඒ නිසා ධර්ම මාර්ගයේ ඉහල දියුණු වීම් අපේක්ශා කරන කෙනා විසින් ආරම්භයේ සිට අවසානය දක්වා කළ යුතු දේ තමයි ධර්ම මාර්ගය ආරම්භය හොඳින් හදාගෙන, ආරම්භය දිගටම හොඳින් පවත්වාගෙන යෑම. එහෙනම් සති සම්පජන්නය කියන එක ආරම්භයේ සිට අවසානය දක්වාම හොඳින් පුරුදු කළ යුතු එකක්.
සියලු දෙනාටම තෙරුවන් සරණයි!